Friday, July 3, 2015

4








කලක් - ගෙවුනි ඉතින් ඔහොම හපං කමින් බෝ-------------- අගේට
උලක් - වගේ මහ තෙද බල අපලය ලැබුවයි-------------------- ගුරාට
ගලක් - උනත් අඹරාගෙන බැසයන ඒ-------------------- සෙනසුරාට
රජෙක් - පවා පරදී නම් අහවල් කෙලියද---------------------- වෙදාට


හටන් - කොරල දේස ගානේ යටත් කොරා ගන්ට-------------- රට්ටු
පිටින් - ආපු සුද්දෝ රැලක් උනා හෙමින් ගමට----------------- කිට්ටු
කටින් - කිව්ව එක කවියට හපොයි පරයෝ උනයි------------- මට්ටු
යටින් - ඉස්ම බේරි බේරි දිව්වයී උං දමා---------------------- වෙට්ටු


හකුරු - වගේ මුන්දැගෙ හිත උනු වෙනකොට පැණි-------- බේරෙන
නපුරු - උනොත් ගිල්ලනවලු ඒ පැණි හැලියෙම----------- කරවෙන
මිතුරු - වෙන්ට ආවයී සුදු මහත්තයෙක් එය---------------- දැනගෙන
පඬුරු - ලෙසට කානු දෙකේ දිග මරු කටකුත්--------------- අරගෙන


කොහොඹ - ගහට කරවිල වැල ගියා වගේ වැඩ-------------- යෙදිච්චි
බොහොම - ජයට දෙන්න ඉතිං දඩයං කෙලියට--------------- වැදිච්චි
ඔහොම - දිනක් හඳ පානක දෙන්න කැලයකට---------------- පලච්චි
කොහොම - කොහොම හරි දෙන්නට රස ගොදුරක ඉව------ වැටිච්චි 



වරෙං - ගෙරිය කියමින් ගුරු ගියා ටිකක්------------------- ඉස්සරහට
අරං - තුවක්කුව සුද්දා පැන්න ඉතින් ඒ---------------------- ගොදුරට
දුවං - ආපි දළ වනමින් ඌරු යකා දෙන්න---------------------- ලඟට
ඇනං - පැනපි පෙරළා බිම සුද්දගෙ පපු කැවුතු----------------- මැදට


ඌරු - වෙසින් ගුරු මරණ්ට අවේ එදා මහ------------------- සෝනා
පූරු - පිනෙන් ඒ අපලය සුද්දගෙ පිට බල---------------------- පානා
සූරු - කමින් එය දැන ගුරු කෙරුවයි ජප බල----------------- ගේනා
වාරු - අරන් එලවා යකු තුවක්කුවක් ගෙන-------------------- මානා



Tuesday, June 23, 2015

3





දවසක් - රෑ එළිවෙනකං හබයක් අල්ලපු-------------- ගෙදරක
නින්දක් - නෑ වෙදරාලට ඉඳගෙන උන්නලු------------ පැදුරක
සරයක් - කීවලු දෙන්නට නැතිලු වගක්----------- අවසානෙක
කොටියෙක් - සේ නපුරු කමින් ඉවකෙරුවා රස---- ගොදුරක


ඇඳගෙන - පට සරං රෙද්දට ඉනවට පටලා------ කෙටිකොට
බැඳගෙන - හත් පොට හිරකර හවඩියකින් එය----- තදකොට
ඉඳගෙන - වැව් තාවුල්ලක ලෙන්සුවක් ලා------------ උර පිට
පිඹගෙන - කීවලු කවියක් කදුරු ගහක ගෙඩි------- දෙකකට


සත්ත - බලන්නට කවියක කොලේ ඔහොම වැඩක්--- නපුරු
අත්ත - පාත් කර කීවේ වස් කවියක් නොවෑ------------ කදුරු
හැත්ත - පිටින් අහවරමයි කරගත්තොත් මුන්දැ--------- හතුරු
ඇත්ත - කියන්නම් කෙටියෙන් අහං ඉඳිං ඔන්න-------- මිතුරු


එදා - පටන් හුළං සැරට ගහේ තිබුන කදුරු--------- දෙකක්
විදා - සද්ද කර වැදුනම උනාලු මහ පුදුම------------- වැඩක්
නිදා - ගන්නවත් අඹුසැමි දෙන්නට නම් නැතිලු------ ඉඩක්
වෙදා - ලඟදි දනිං වැටෙන තුරුම උන්ට උනා------ ලෙඩක්


වෙච්චි - වැඩක් ඒ ගම්පෙත ඕං කීව---------------- අහපල්ලා
හිච්චි - එකක් ඔය කීවේ ඇද්ද කියල-------------- කියපල්ලා
කොච්චි - වගේ මුන්දැගෙ සැර ලංකාවම නම------ හොල්ලා
පුංචි - කතා මැදැයි අහමු කතන්දරේ තෙද------------- අල්ලා


Friday, June 12, 2015

2






තිබුනයි - ලංකා පුරවර අස්සක පොඩි ගමක්-------------- කදිම
උන්නයි - එහි ඉශිවරයෙක් වගේ වෙදෙක් ඔන්න-------- අරුම
පතලයි - ගම කදුබොඩගම වෙදා නමින් ඉතින්------ බොහොම
සත්තයි - ඒ වෙද නාමෙට පුදයි බයයි දන්නො----------- තවම


මුලිං - කියන්නම් කරුණක් මුන්දැගෙ හොඳ--------- යාන්තමට 
සිලිං - වලට වෙදකං නෑ තෑගි පමණි-------------- සන්තෝසෙට
කලිං - කීවේ රස්මෙ යන්ට වෙදාගෙ හිත ගැන--------- නිකමට
පෙළිං - පෙලට ඉතිං අහමු සහසුද්දෙං හැටි-------------- මුලහිට


හොඳ - වාගේම තමයි නරක හූනියමෙන් කරණට------- ලෙඩ
ඇඳ - බලි රූ පුහුලෙක පැලුවොත් මරණෙයි ඒ දෙණ------ උඩ
ඉඳ - ගත්තම බෙරෙත් අරන් හැන්දෑවට------------- හේලංකඩ
බිඳ - වැට පොලු කලඹ දැක්ක යක්කු දුවයි සී------------ සීකඩ


ගමට - රජෙක් ඉශිවරයෙක් සැපට දුකට සැමට--------- පියෙක්
වසට - විසට දිව ඔසුවක් යක්ෂ බයට දක්ෂ------------ වෙදෙක්
සැරට - වැරට මුර බල්ලෙක් නපුරු උන්ට රෝම------- යකෙක්
සැමට - උන්නු හොඳ හයියක් එලිය ගේන මිනි--------- පානක්


හැටි - ඔහොමයි ඒ වෙද තැන මිනිස් කමට යක්ෂ------- වෙසට
කැටි - කර වග කියනට බෑ කවිපදයෙන් එක----------- කටකට
නැටි - පොතු අහුලා හොඳ තල වේලා ගන්නා----------- විලසට
කිටි - කිටියේ තදකර පද බැඳ ගෙන එන්නම්---------- හෙමිහිට  

   

Friday, June 5, 2015

1




සම්මා - සම්බුදු සරණයි අවසර මට මුල------------------ පිරුමට
අම්මා - ලෙස සිරි සරසවි පිහිට පතමි මම----------------- පෑනට
පෙම්මා - දන නමා වඳිමි මගේ නොදත් ගුරු-------------- තුමාට
නිම්මා - නැති කවි සයුරෙන් දෝතක් දෙන්නම්------ මෙලෙසට


කියමි - මෙසේ හැකි හැටියට කවිකර සැමගේ---------- සවනට
වදිමි - දෙපා වුනොත් දොසක් දෙන්න සමා මගෙ------ කවියට
බඳිමි - ගොතා කවි මල් දම් අසන සැමට දෙන----------- දිරියට
පුදමි - මගේ කවි කතාව නිවන් ගියපු මයෙ--------------- සීයට


සිරින් - සපිරි ලංකාපුර වෙච්චි කතාවක්---------------- ඇත්තට
කවිත් - සමග රස කර තව මං පවසන්නම්--------- හෙලිකොට
පිරිත් - ගීත කවි වාරං වාගෙම පෙර------------------ මංතරයට
නොදත් - තැනක් තිබුනයි බෝ ඉස්සර නම්-------- ගජරාමෙට


අතර - තුරක පිළිගත්තත් නැති වී යන-------------- මංතරයට
නිතර - වඳින ඇත්තන් ඇත ඉස්මුඳුනෙන් මේ------- කාලෙට
නතර - කරමි ඒ ගැන මං ඉතිරි කරල තව------------- හිතුමට
ඉවර - කරන්නම් ඇරඹුම මුල පුරමින්------------- කතාවකට




Thursday, June 4, 2015


තෙරුවන් සරණයි 









මේ මයෙ හිතේ කාලයක් තිබුන ආසවක්.

කවියෙන් කතාවක් ලියන්ට හිතුවේ හුඟ කාලෙකට කලියෙං.

ඒත් බැරිඋනා.

මේ ඒ ආසාව සපුරාගැනීමක්.




මේ අපේ රටේ මුල්බැහැගෙන තිබුන, අදවෙනකොට ඩිංග ඩිංග යටවෙලායන මන්තර සාස්ත්‍රය ගැන සත්‍ය කතාවක්.

මගේ කිරිඅත්තා
‘’සර්ප විෂ විශේෂඥ්ඥ රාජකරුණා (වැරැලේ වෙදමහත්තයා) දෛවඥ්ඥතුමා’’ එතුමාගේ ගුරුවරු ගැන කියෝනකොට මහ උජාරුවෙන් මට හුඟාක් පුංචි කාලේ කියා දීපු කතාවක්.

අත්තා මේ කතාව අගේට කවි කරලා සාත්තුවල කියනවා මට යාන්තමට මතකයි.

ඉතිං මීට වසර 11ට විතර කලියෙං ඒ ජීවක ඇත්තො ජීවිත ගනනාවක් ගොඩ දාලා මියෑදුනා.

අත්තා කරපු ඒ සේවාව අගේකරලා අත්තට පින් තකා මං ඒ කතාව මට හැකි හැටියට කවි කොරන්ට තීරණය කොලා.

මන්ත්ර සාස්ත්‍රය ගැන විශ්වාස කොරන නොකරන එක තම තමන්ගෙ අයිතියක්.

මේක කාගෙත් රසවින්ඳනයට වගේම මයෙ ආසාවට මං ලියන්න ගත්තෙ. කට වරදක් උනොත් සමාවෙන්ට

.

මේ කවි කියෝන සැමගෙන් අවසර



ඒ වගේම




කම්බිලි දෙවෝත්තමයානවහන්සේගෙනුත්

කඳුබොඩගම වෙද ඇත්තන්ගෙනුත්

මයේ කිරිඅත්තගෙනුත්




අවසර

ඒ වගේම වරදක් උනොත් සමාව

ඉල්ලාහිටිනවා..




එහෙනං හා පුරා ආයුබෝ...